Profile

සිංහල | English

011

පිටකොටුව සහ නුවරඑළිය ආශ්‍රිතව ව්‍යාපාරික කටයුතු වල නියැලෙමින් දිවයින පුරා ආගමික සහ සමාජ සේවා කටයුතු කල කැස්බෑවේ විසූ සාමවිනිසුරු පී.ඩී.කරුණාරත්න මහතාගේ සහ එම මහත්මියගේ දයාබර පුතණුවන් වන මා ,සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් යුත් පව්ලේ සිව්වැනියාය.

කඩුවෙල සෙනරත් ටුවර්ස් අධිපති සාමවිනිසුරු සෙනරත් පෙරේරා මහතාගේ සහ එම මහත්මියගේ වැඩිමහල් දියණිය සමඟ විවාහ වී සිටින මා,දස හැවිරිදි දියණියකගේ පියෙකි.

කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ලබා ඇත.

300කට වැඩි තරුණ තරුණියන් පිරිසකට රැකියා අවස්ථා ලබා දෙමින් “Keells Super”සුපිරි වෙළඳසල් ජාලයේ ශ්‍රී ලංකාවේ එකම වරලත් නියෝජිත ලෙස කටයුතු කරන P.D.K Holdings පුද්ගලික සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස වෘත්තියෙහි නියැලෙමි.

“දේශයක මානව හා භෞතික සම්පත් සංවර්ධනය සිදුවන්නේ එම දේශය පාලනය කරනු ලබන පාලකයන්ගේ දැනුම, හැකියාව හා ආකල්ප මත යැයි මම තරයේ විශ්වාස කරමි.එම විශ්වාසය ප්‍රායෝගික තලයට ගෙන ඒමේ අදහසින් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසි මා, ඉහත සඳහන් කල අධ්‍යාපනික හා වෘත්තීය දැනුම පදනම් කරගනිමින් කැස්බෑව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසත්, වර්තමාන විපක්ෂ නායකයා ලෙසත් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සැමට එකලෙස සේවය සැලසීමට කටයුතු කලෙමි.”

එම කාලය තුලදී වැටුප් සහ දීමනා මෙන්ම කිසිඳු රාජ්‍ය දේපලක් මාගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබා නොගෙන රු.ලක්ෂ 5100 ක් වටිනා ඵලදායී සංවර්ධන ව්‍යාපෘති 1390ක් අප ප්‍රදේශය තුල ක්‍රියාත්මක කළෙමු.

යහ පාලනයෙන් යුත් ,පාලන තන්ත්‍රයක් ඇති කරලමින් ප්‍රථම වතාවට කැස්බෑව නග සභාව වෙත ආසියානු සංවර්ධන බැංකුවෙන් රු.ලක්ෂ 350 ක මූල්‍ය ප්‍රදානයක් ලබා ගැනිමටත් ,අප නගර සභාව කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම දෙවන නගර සභාව බවට පත් කරලීමටත් නායකත්වය දුන්නෙමි.

මාගේ විශේෂ මැදිහත්වීම මත කැස්බෑව නගර සභාව වෙත රු.ලක්ෂ 235 වටිනා මාතෘ සායන ගොඩනැගිලි දෙකක් ඇතුළු තවත් ප්‍රදානයන් පෞද්ගලික අංශයන්ගෙන් ලබා ගැනීමට හැකිවීම පළාත් පාලන ඉතිහාසයේ වාර්තාවක් බව නිහතමානීව සිහිපත් කරමි.

එසේම පසුගිය කාලය තුලදී නොයෙකුත් දේශපාලන අර්බුදයන්ට මැදිව ,උදාසීනව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් තනිනොකර රැකගනිමින් පක්ෂයට ශක්තියක් දීමට මා සහ මාගේ සොයුරු නුවරඑළිය හිටපු නගරාධිපති සහ වත්මන් විපක්ෂ නායක චන්දන කරුණාරත්න මහතා කටයුතු කල බවද මින් ප්‍රකාශ කරමි.

පසුගිය වර මා තරග කළ පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 31947 ලබා දෙමින් දිවයිනේ වැඩිම මනාප ඡන්ද ප්‍රමාණය ලැබූ එජාප අපේක්ෂකයා බවට මා පත් කරවූයේ,යහ පාලනයෙන් යුත් නිවැරදි කළමනාකරණය මෙන්ම ආදර්ශමත් දේශපාලන ප්‍රතිපත්තිය නිසා යයි මා තරයේ විශ්වාස කරමි.

එබැවින් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මා වෙත ලබාදෙන ජනතා වගකීම පෙර පරිදිම නිසි අයුරින් ක්‍රියාත්මක කරමින් ආදර්ශමත් දේශපාලනයක නියැලෙන බව මෙයින් ඔබට සහතික වෙමි.

“නගරය ආදර්ශමත් කල අපි , බස්නාහිර පළාත ආදර්ශමත්ව ගොඩනගමු”